Tuesday, July 10, 2012

පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

අද ටිකක් විතර වෙනස් මාතෘකාවක් කතා කරන්න හිතුවා. ලෙඩක් ගැන බ්ලොග් එකේ ලෙඩක් ගැන නොලියා අපිට ලෙඩක් වෙන්න පුළුවන් සර්පයන් ගැන කතා කරන්නයි මේ සූදානම.


1. කවුද මේ සර්පයෝ?


ඒ ගැන නොදන්නෙ කවුද නේද? සර්පයෝ උරගයෝ(reptiles). පාද රහිතයි. ශරීරය කොරපොතු (scales) වලින් වැහිලා තියනවා. 


සෑම සර්පයෙක්ගේම ,පි‍ටුපසට හැරුණ දත් තිබෙනවා. විෂ සහිත සර්පයන්ගේ ඛේට ග්‍රන්ථි දෙකක් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි සෑදී ඇති අතර ඒ විෂ සිය ගොදුර කරා එන්නත් කිරීමට හැකි වන ලෙසට විකසනය වූ රදනක දත් (fangs) යුගලක්ද ඔවුන් සතුව තිබෙනවා.


පොළොව මත (කාන්තාර වල පවා) , ජලයේ, ගස් මත ආදී මිහිපිට ඇති සියළුම ස්ථාන වල සර්පයන් දක්නට ලැබෙනවා.


2.ශ්‍රී ලංකාව තුළ සර්පයන් කීදෙනෙකු සිටීද?


ලංකාවෙ ඉන්න සර්පයෝ සංඛ්‍යාව නම් සංගණනය කරලා නැතුව ඇති. ඒත් සර්ප විශේෂ ගණන නම් මෙසේ දක්වන්න පුළුවන්.
ගොඩබිම වසන සර්පයන් විශේෂ 83යි
දියෙහි වසන සර්පයන් 13 යි.


3. සියලුම සර්පයන් විෂ සහිතද?


පැහැදිලිවම නැහැ. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවෙ හමුවන සර්ප විශේෂ 83න් විෂ සහිත සර්පයන් හමු වන්නේ 8ක් පමණයි.


විෂ අනුව සර්පයන් කොටස් 3කට බෙදිය හැකියි.

  • උග්‍ර විෂ සර්පයන්
  • මඳ විෂ සර්පයන්
  • නිර් විෂ සර්පයන්



4. අපට හමු වන් උග්‍ර විෂ සර්පයන් පිළිබඳව දැන් මඳක් විමසා බලමු.


නයා (Naja naja)
cobra
nalla paambu -tamil

කුඩා දරුවෙකුට පවා පහසුවෙන් හඳුනාගත් හැකි සර්පයෙක්. මන්ද යත් පෙනය (hood) සහිතව ලංකාවේදී හමු වන එකම සර්ප විශේෂය මෙයා නිසා. පෙනයේ ඇතුළු පස ඇති සිංහල "ප" අකුරේ හැඩය නිසා කැපී පෙනෙනවා.  ( 'ප' අකුර හඳුනන්නේ අපි විතරනෙ. ඒ නිසා අනිත් අයට ඒ සලකුණ පෙනෙන්නේ උපැස් යුවලක හැඩයෙන් ලු.(spectacle marking))
හොඳින් විකසනය වූ රදනක දත් යුගල විෂ,ගොදුර තුළට පහසුවෙන් එන්නත් කරනවා. 


මේ විෂ වැඩි වශයෙන් බලපාන්නේ ස්නායු පද්ධතියටයි.(neurotoxins)
ඒ නිසා දෂ්ඨ කිරීමකදී දෙනෙත් විවර කිරීමේ අපහසුව, ආහාර ගිලීමේ අපහසුව, සිහිය නිරවුල් නොවීම, ශ්වසන අපහසුතා ආදිය ඇති වීමට ඉඩ තිබෙනවා.  දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානයේ ඉදිමීමක් ද දක්නට ලැබෙනවා. (පොළඟා සපා කෑමකදීට වඩා ඉදිමීමට කල් ගත වනවා)




තෙල් කරවලා / මගමරුවා ( Bungarus caeruleus)
Common krait / Indian Krait
Yettadi virian - tamil

සමාන්‍යයෙන් දිග මීටර් 0.9ක් පමණයි.නිල් කළු පැහැති සර්පයෙක්. ශරීරයේ සුදු පැහැති මුදු යුගල් වශයෙන් පිහිටා තිබෙනවා.(40ක් පමණ).මේ ඉරි වඩාත් පැහැදිලි වන්නේ ලාබාල අවදියේදී වන අතර වයසට යන විට ඒවා පෙනෙන නොපෙනෙන මට්ටමකට පත් වෙනවා.
 සිරුර මතුපිට තෙල් ආලේප කළ ලෙසට දිලිසෙන ස්වභාවයක් ඇති නිසා තෙල් කරවලා වශයෙන් හැඳින්වෙනවා.
මෙයාගේ ක්‍රියාකාරීත්වය හොඳින්ම දකින්නට හැකි වන්නේ රාත්‍රී කාලයේදීයි. එනම් වැඩිපුරම දශ්ඨ කිරීම් වාර්තා වන්නේ රාත්‍රි කාලයේ




මුදු කරවලා ( Bungarus ceylonicus)
Ceylon krait
Yettadi virian -tamil


ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙක්. හොඳින් වැඩුණ වැඩිහිටි සර්පයෙකු දිගින් සෙ. මී. 75ක් පමණ වෙනවා.
තද කලු පැහැතියි. ශරීරය වටා තනි සුදු පැහැති මුදු පිහිටා තිබෙනවා. තෙල් කරවලාගේ මෙන් නොව උදරය වටාද මෙම මුදු දිවෙනවා.



බහුලව වාර්තා වන්නේ කඳුකර ප්‍රදේශ වලින්. මහනුවර, පේරාදෙණිය,ගම්පොල, නාවලපිටිය බලංගොඩ ආදී ප්‍රදේශ වල වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙනවා.
මෙයාත් වැඩිපුරම දශ්ඨ කරන්නේ රාත්‍රී කාලයේදී. 


තෙල් කරවලා සහ මුදු කරවලා යන දෙන්නා දශ්ඨ කළ විටදීත් ඇති වන රෝග ලක්ෂණ බොහෝ දුරට නාගයා ගේ දශ්ට කිරීමට සමානයි. නමුත්, නාගයාගේ හෝ පොළඟාගෙ දශ්ඨ කිරීමේදී මෙන්, විශාල ඉදිමීමක් දක්නට ලැබෙන්නේ නැහැ.




පොළඟා (viper)
දේහය කෙටි මහත ස්වභාවයක් ගන්නවා. හිස ත්‍රිකෝණාකාර වන අතර කරවලාගේ මෙන් නොව හිස පැහැදිලි ගෙලකින් දේහයෙන් වෙන් වෙනවා.



වැලි පොළඟා (Echis carinatus)
Saw scaled viper.
Surattai paabbu - tamil


සාපේක්ෂව කුඩා සර්පයෙකි. දැති සහිත කොර පොතු නිසා " saw scaled viper" යන නම ලැබී තිබෙනවා. 


හිසෙහි මතුපිට ඇති "කුරුලු පාදයක සලකුණ" (bird foot mark) නිසා අනිකුත් පොළොඟුන් විශේෂ වලින් වෙන් කරගැනීමට හැකියි.


බහුලව දක්නට ලැබෙන්නේ තෘණ බිම් වැනි විවෘත ප්‍රදේශ වලය. දශ්ඨ කිරීම් බහුල වන්නේ රාත්‍රි කාලයේදීය.


දශ්ඨ කිරීමකින් පසුව රෝග ලක්ෂණ පහල වීම දශ්ඨ කළ ස්ථානය ඉදිමීමෙන් ආරම්භ වනවා.
මොවුනගේ විෂ රුධිර කැටි ගැසීමට බාධා පමුණුවන අතර, ඒ නිසා විදිරුමස් වලින් ලේ ගැලීම, මුත්‍රා, සෙම සමග රුධිරය පිට වීම සිදු වෙනවා. දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානය නරක් වී යාමට (necrosis) ඉඩ තිබෙනවා.
මිය යාම් වලට හේතුව වන්නේ ලේ විෂ වීම, හ්රද අකර්මන්‍ය වීම, වකුගඩු අකර්මන්‍ය වීම අදියය්. සපා කෑමේ සිට සති 2ක් පමණ කාලයක් ගත වූ පසුවද මරණය සිදුවිය හැකියි.



තිත් පොළඟා ( Duboia russelli )
Russell's viper
kannadi virian - tamil


කෙටි මහත සර්පයෙක්. දේහය දුඹුරු පැහැතියි
ගෙල සිට වල්ගය දක්වා දිවෙන තද දුඹුරු පැහැති ඉලිප්සාකර සලකුණු පේළි 3 බැගින් පිහිටයි.


මොවුනගේ විෂද වැඩි වශයෙන් බලපාන්නේ රුධිර කැටිගැසීමේ ක්‍රියාවලියටයි



පොළොන් තෙලිස්සා / කුණක‍ටුවා (Hypnale hypnale)
Humped nose viper
Komberi mukkan - tamil


හිසේ ඉදිරි කෙලවරේ නාස් පුඬු සහ දෑස් අතර ඉහළට වක් වූ හොම්බක් (hump) වැනි කොටසක් දක්නට ලැබෙනවා. 
මෙයාගේ විෂ එතරම් ප්‍රබල නැති බව පෙරදී විශ්වාස කළත්, දැන් එය එසේ නොවන බව පැවසෙන්නේ දරුණු වකුගඩු අකර්මන වීම්, රුධිර කැටිගැසීමේ ගැටලු වාර්තා වී ඇති නිසායි.


කැලෑ ප්‍රදේශ වල සැඟවී සිටීමට ප්‍රියතාවයක් දක්වනවා.

පළා පොළඟා (Trimeresurus trigonocephalus)
Green pit viper
pachchai virian -tamil
photo - Harsha Matharage
ඇපල් කොල පැහැති දේහයත්, කලු සහ කහ පැහැති පුල්ලිත් නිසා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 
රුධිර කැටි ගැසීම ප්‍රමාද වීම්, හර්ද අකර්මණ වීම්, ස්නායු පද්ධතියට බලපෑම් ආදිය ඇති වීමේ අවධානමක් තිබුනද ඒ නිසා මරණයට පත් වීම් මෙතෙක් වාර්තා වී නැහැ.
සියලුම  දේශගුණ කලාව වල දක්නට ලැබුණත්, තේ, කෝපි, කුරුඳු ආදී වතු වල බෙහෙවින් හමුවනවා.



5.උග්‍ර විෂ සහිත ඉහත සර්පයන් හැරුණ විට, මඳ විශ සහ නිර්විෂ සර්පයන්ද බොහොමයක් අපට හමු වනවා. 
ඒ ගැන පුංචියට හෝ සටහනක් තැබිය යුතු යි.


මඳ විෂ

  • මාපිලා / ලේ මාපිලා (Boiga forsteni) /Cat snake
  • ඇහැ‍ටුල්ලා (Ehatulla nasuta) / eye plucker
  • දියබරියා (Cerberus rynchops rynchops) / Water snake



නිර් විෂ

  • ගැරඬියා ( Ptyas mucosus) / Rat snake
  • දාර කරවලා (Cercaspis carinatus) / Ceylon Wolf Snake




6.සර්පයන් දශ්ඨ කිරීම් වලක්වා ගන්නේ කොහොමද?



  • බොහෝ අවස්ථා වලදී සපා කෑමට ලක් වන්නේ දෙපා. ඒ නිසා සර්පයන් ගැවසිය හැකි ස්ථාන් වල ඇවිදීමේදී සපත්තු, බූට්ස්, දිග කලිසම් ඇඳීම සුදුසුයි. 
  • රාත්‍රී කාලයේදී  ඇවිදීමේදී ප්‍රබල ආලෝකයක් ගෙන යාම මගින් ඔබට සර්පයන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. 
  • සර්පයන් කම්පන වලට සංවේදීයි. එම නිසා කැලෑ වල ආදියේ ඇවිදීමේදී කෝ‍ටුවකින් බිමට තට්‍ටු කරමින් යාමෙන් ඔබගේ ගමන් මාර්ගයේ සිටින සර්පයන් එයින් ඈත් කර තැබිය හැකියි.
  • සර්පයන් හැසිරවීමේ විශේෂ පුහුණුවක් ඔබට නොමැති නම්, මිය ගිය හෝ, පණ ඇති සර්පයන් ඇල්ලීමට යාමෙන් වලකින්න
  • හුඹස්, ගස් බෙන, ලී කොට යටට වැනි ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.

(මොළය පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගැනීමට පුළුවන්)


7.සර්පයෙකු දශ්ඨ කිරීමකදී ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද?



  • රෝගියාගේ බිය නැති කරන්න. ඔබත් කලබල වී කටයුතු කළොත් රෝගියා තවත් බියට පත් වෙනවා.
  • රෝගියා නොසොල්වා තබන්න.
  • සපා කෑම අතක හෝ කකුලක නම්,එය නොසෙල්වෙන පරිදි ආධාරකයක් මත තබා බඳින්න.
  • වේදනා නාශකයක් ලෙසට පැරසිටමෝල් හැරුණ විට වෙනත් කිසිදු ඖෂධයක් දෙන්නට එපා.
  • දශ්ඨ කිරීමට ලක් වූ ස්ථානය ගලායන වතුරෙන් සෝදන්න. නමුත් එතැන අතුල්ලන්නට එපා.
  • රෝගියා නොසොල්වා හැකි ඉක්මනින් රෝහලක් කරා ‍රැගෙන යන්න. දශ්ඨ කිරීම සිදු කළ සර්පයා හැකිනම් රෝහලට ‍රැගෙන යන්න. එවිට ප්‍රතිකාර කිරීම පහසු වේ.




(සර්පයන් පිළිබඳව තවත් බොහෝ කරුණු තිබෙනවා. එම නිසා මේ ලිපියට අදාල කුමක් හෝ කරුණක් මා අතින් මග හැරුණේ නම්, ඒ පිළිබඳව කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මතු වූ ගැටලුවක් තිබේ නම්, ඒ පිළිබඳවත් අසන්න.)


තවත් දෙයක්, ලෙඩක් ගැන බ්ලොග් එකේ ඊළඟ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ තැලිසීමියාව පිළිබඳව. ඒ ලිපියට ඇතුළත් කළ යුතුයි කියා ඔබ සිතන යම් කරුණක් තිබෙනවා නම් මෙතෙන්ට ගිහින් ඒ ගැනත් මට කියන්න.







11 comments:

  1. ආයෙත් 'ලෙඩක් ගැන' ලියන්න පටන් ගත්ත එක ගැන නම් ගොඩක් සතුටුයි!
    අද ලිපිය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන හැම කෙනෙක්ට වැදගත් වෙනවා, මොකද සර්පයෙක් දෂ්ඨ කල විට සර්පයා හඳූනා ගැනීම ප්‍රතිකාර කිරීමට ඉතා වැදගත්.
    ඉතා පැහැදිලි විස්තරයක් වගේම පැහැදිලි නිවරැදි රූප සටහන් ලබා දීල තියෙනව.
    දිගටම මෙහි ලියන්න සිඳූ, ඒකෙ වටිනාකම කියල නිම කරන්න බැහැ. ඔයාගෙ උත්සාහයෙන් ජීවිත ගණනාවක් වාසනාවන්ත වෙන්න ඉඩ තියනවානෙ.

    ReplyDelete
  2. ලිපියට දාපු රූප ටිකනම් අනගියි. ඇත්තටම මට අමතක වෙලා තිබුන කරුණු කීපයකුත් මතක් කරගන්න පුළුවන් වුනා.
    පණ පිටින් සිටි තිත් පොලඟෙක් (දශ්ඨ කලා යයි එල්ලවූ චෝදනා වලින් නිදහස්වූ) වාට්ටුවේ තබාගෙන ඌට කෑම බීම දී(පුරා පැය 12) ඇතිකිරීමේ රසවත් සිද්ධියකුත් මට තියනවා. වෙලාවක ලියන්නම් කෝ..

    ReplyDelete
  3. මමත් කාලෙකට කලින් මෙහෙම එකක් ලිව්වා

    http://aagiyakatha.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  4. හික්ස් මමත් මේ ලගදී සර්ප කතාවක් ලිව්වා, සර්ප වෙදකම ගැනත් මම පොඩ්ඩක් හොයලා බැලුවා ඒක නම් හරිම අමුතු දෙයක්

    ReplyDelete
  5. කොච්චර කියෙව්වත් ඇති නොවෙන ආයෙ ආයෙත් කියවන්න පුලුවන් මාතෘකාවක්..


    ප.ලි.
    පොටෝ ටික දැම්ම එකනං ගොඩක් වටිනවා..දැන් සර්පයො හැමතැනම..අදුනගන්නත් අමාරු‍යී. :D

    ReplyDelete
  6. ගොඩාක් වටිනා ලිපියාක්‌. ඉස්සර අපි පොඩි කාලේ අම්මගේ වැඩේ ඇඳන් යට බලන එක.වැස්ස දවස වලට විශේෂෙන්ම. ඒත් අපිට ඒවායේ බරපතල කමක් දැනුනේ නැහැ.

    නයෙක් දෂ්ඨ කරලා කොච්චර වෙලාවකින්ද මිය යන්නේ පුළුවන්.

    ReplyDelete
  7. වටිනාකම වචන වලින් කියලා නිම කරන්න බැරි ලිපියක්..කැළැ වල ගැවසෙන කදු නගින්නෙකු විදිහට මට මේක ගොඩාක් ප්‍රයෝජනවත්..ජායාරූපත් එක්ක තියෙන නිසා සර්පයෙකු හදුනාගැනිමේ හැකියාව යම් මට්ටමකට මා තුලත් ඇති උනා කියලා මට විශ්වාසයි..මධ්‍යම කදු කර බිම් වල උසත් සමග දේශගුණයත් සමග සර්පයන් ව්‍යාප්තියේ අඩුවක් හෝ වැඩිවිමක් තියෙනවද කියලාත් මධ්‍යම කදුකරය ආශ්‍රිතව බහුලව වාර්තා වන විශ සහිත සර්පයින් ගැනත් තව දුරට පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් මට ගොඩාක් වටිනවා..මේ වගේ වැදගත් ලිපි දිගටම ලියන්න..ඔබගේ දැනුම අප සමග බෙදා ගත්තට බොහොමත්ම ස්තුතියි.....

    ReplyDelete
  8. ලිපිය සුපිරිය.. සර්ප දෂ්ඨ කිරීම් සළකුණක් අධ්‍යනය කරල සර්පයව හඳුනා ගන්න/ අනුමාන කරන්න පුලුවන් විදියත් ලිපියකින් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්..!!! ජය..!

    ReplyDelete
  9. ලංකාවේ ගොඩක් අයට සර්පයෝ පිලිබඳ නිවැරදි අවබෝධයක්නම් නැහැ. අඩුම ගනනේ ගැරඩියෙක් එක්ක නයෙක් අදුන ගන්න එක සමහරුන්ට හරි අමාරුයී.. :- )

    ඒක නිසා මෙවන් ලිපියක් ඉතාම වටිනවා. මෙවැනි ලිපියක් ලියන්න ගොඩක් මහන්සි වෙල තියෙනවා..
    Online Doctor SL Forum

    ReplyDelete