Saturday, April 14, 2012

පැපොල දෙයියන්ගෙ ලෙඩක්ද?


පසුගිය සති කිහිපයට පැපොල රෝගය වැළඳුණු රෝගීන් තිදෙනෙකුම දැක ගන්නට ලැබුණා. මේ සටහන තබන්නට සිතුණේ ඒ නිසායි.


 
                                         http://www.fastchickenpoxcure.com/blog/wp-content/uploads/2011/07/chicken-pox-pics-3.jpg


පැපොල දෙයියන්ගෙ ලෙඩක්ද?
නෑ ඒක වයිරසයක වැඩක්




පැපොල රෝගය වැළ‍ඳෙන්නේ කොහොමද?
පැපොල හෙවත් chicken pox රෝගය සඳහා හේතු කාරක වන්නේ වයිරසයක්. (Varicella -zoster virus ). මෙය ඉතාමත් පහසුවෙන් බෝ වීමේ හැකියාවක් පවතිනවා.


රෝගී පුද්ගලයකුගේ පැපොල තුවාල වල ස්‍රාවයන් ඔබගේ සිරුරේ තැවරීම, එමෙන්ම රෝගී පුද්ගලයකුගේ කිවිසුමක්, කැස්සක් මගින් වයිරසය අඩංගු බිඳිති ඔබ තුළට සම්ප්‍රේශනය වීම වැනි ක්‍රම මගින් පහසුවෙන්ම පැපොල වයිරසය ට ගොදුරු වීමට පුළුවන්.


වයිරසය ශරීර ගත වීම සහ රෝග ලක්ෂණ මතු වීම අතර දින 14-21 අතර කාලයක් ගත වෙනවා.


වයිරසය ශරීර ගත වූ රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ වීමේ හැකියාව  වැඩි වශයෙන්ම පවතින්නේ පැපොල රෝගයේ ප්‍රධානම ලක්ෂණය වන බිබිලි දේහයේ හට ගැනීමට පැය 24-48ක් පමණ පෙර කාල සීමාව තුළදීයි.




පැපොල රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින්නේ කවුරුන් හටද?


වයස් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකු මේ රෝගයෙ ගොදුරක් බවට පත් විය හැකියි. කුඩා දරුවන් හට එතරම් සංකීර්ණ රෝග ලක්ෂණ ඇති කරන්නේ නැහැ. 
නමුත් පැපොල රෝගය වැළඳුන වැඩිහිටියන් විවිධාකාරයේ අතුරු ආබාධ වලට ගොදුරු වුණ අවස්ථා තිබෙනවා. එමෙන්ම දේහයේ ප්‍රතිශක්තීකරනය අඩු පුද්ගලයන් ( දිය වැඩියා රෝගීන්, ඒඩ්ස් රෝගීන්, ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්....) හට මෙම රෝගය වැළඳුනු අවස්ථා වලදී ප්‍රතිඵල ඉතා භයානක වන්නටත් පුළුවන්.




රෝගය හඳුනා ගත හැකි රෝග ලක්ෂණ මොනවාද?


රෝගයේ මුල් අවධියේදී උණ , සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ ආදිය රෝගියා විසින් අත්දකිනු ලබනවා. 
පැපොල රෝගයට අනන්‍ය වූ බිබිලි මතු වන්නේ ඉන් අනතුරුවයි. සාමාන්‍යයෙන් මුලින්ම මේවා ඇති වන්නේ රෝගියාගේ ළය හා උදර ප්‍රදේශ වලයි. 
දේහයේ වෙනත් කොටස් වලට මේවා පැතිරෙන්නේ ඉන් අනතුරුවයි. මෙසේ ඇති වන බිබිලි විවිධ වයස් මට්ටම් වලින් යුක්තයි. (එනම් ඇතැම් බිබිලි පිපිරී යන මට්ටමට පැමිණ තිබුණත් ඒ වන විටත් අලුතින් බිබිලි මතු වෙමින් තිබෙනවා විය හැකියි.)


                                                   http://jdc325.files.wordpress.com/2011/09/chicken-pox.jpg


පැපොල රෝගය සමගම බැඳී පවත්නා අනෙකුත් අතුරු ආබාධ වන්නේ 
-තුවාල වල බැක්ටීරියා ආසාදන ඇති වී පැසවීම
-වයිරසය මගින් ඇති කරන නිවුමෝනියා තත්ත්වය
-හර්දයේ පේශි වල ඉදිමීමක් ඇති වී මයෝකාඩයිටිස් නමින් හඳුන්වන තත්වයක් ඇති වීම ( තාවකාල්ක)
-මධ්‍ය ස්නායු පද්ධතියට වන බල පෑම (එන්කෙෆලටියිස්- encephalitis )
(මෙම අතුරු ආබාධ බොහොමයක් දක්නට ලැබෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර , ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන් හට ඊටත් වඩා දරුණු තත්වයන් ඇති විය හැකිය)




රෝගය වලක්වා ගන්නේ කොහොමද?


මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් පවතිනවා. 
-අඩපණ කළ වයිරසය අඩංගු වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා           ගැනීම. 
   {මේ මගින් බොහෝ විට ජීවිත කාලය පුරාවටම පැපොල සඳහා  ප්‍රතිශක්තියක් ලබාදෙනු ලබනවා. විවිධ ඖෂධ සමාගම් මගින් හඳුන්වා දී ඇති එන්නත් කිහිපයක්ම දැනට ලංකාවේ භාවිත කරනු ලබනවා.}


-අනෙක් එන්නත නම්, පැපොල වයිරසය ශරීර ගත් වූවා යැයි සැක කළ හැකි අවස්ථාවන් වල ලබා ගත හැකි පැපොල වයිරසයට එරෙහි ප්‍රතිදේහ අඩංගු වන එන්නතයි. මේ මගින් ජීවිත කාලය සඳහාම ආවරණයක් ලබා නොදෙන අතර, සාර්ථක ප්‍රතිඵල සඳහා හැකි ඉක්මනින් ලබා ගැනීමද කළ යුතු වනවා.




පැපොල රෝගය සඳහා වන ප්‍රතිකාර මොනවාද?


බිබිලි සෑදීම අඩු කරන්නටත්, රෝගියා ට වන අපහසුතා අඩු කර ඉක්මන් සුවයක් ලබා දීමටත් භාවිතා කරනු ලබන්නේ ප්‍රතිවයිරස ඖෂධයක් වන Acyclovir.
පළමු බිබිල හටගන්නා අවස්ථාවේදීම වෛද්‍ය වරයකු හමුවී මෙය ලබාගන්නවා නම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. පැපොල රෝගය වැළඳුනු වැඩිහිටියන් සහ ප්‍රතිශක්ති ඌන රෝගීන් මෙය ලබා ගැනීම ඉතාමත් වැදගත්.




බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් තමයි ගර්භනී අවදියේදී මවට පැපොල රෝගය වැළඳුනහොත් එය දරුවාට කිනම් ආකාරයකට බලපාන්නේද යන්න.
ඇත්තෙන්ම ,ගර්භනී බව සහ පැපොල රෝගය අතර ඇත්තේ කිනම් ආකාරයක සම්බන්ධයක් ද?


මෙය අවස්ථා තුනකට බෙදා විස්තර කිරීම පහසුයි.
-කලලයට සති 28ක් වන්නට පෙර මවට පැපොල වැළඳුනහොත් එමගින් ගබ්සා වීමේ හැකියාවක් ඇති බවට මෙතෙක් වාර්තා වී නැහැ. නමුත් , 1-2%ක පමණ ප්‍රතිශතයක දරුවන් හට (FVS - fetal vericella syndrome  ) නම් තත්වය ඇති වන බවයි සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ. මෙහිදී දරුවාගේ ඇස්, අත් පා, මොළය, ආහාර මාර්ගය සහ මුත්‍රාශය ආදී අවයව වලට බලපෑමක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.


-දරුවාට සති 28-36 අතර කාලයේදී මවට රෝගය වැළඳුනහොත් ඉන් දරුවාට කිසිදු බලපෑමක් ඇතිවීමේ සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි.


-සති 36න් පසුව මවට රෝගය වැළඳීම  සිදු වුවහොත්, දරුවා උපදින්නෙ පැපොල රෝගියෙකු ලෙස වන්නට පුළුවන්. එසේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි


හර්පීස් සොස්ටර් හෙවත් ශින්ග්ල්ස්  (herpes zoster / shingles)


                                    http://www.howtocureshingles.com/blog/wp-content/uploads/2011/07/shingles-images-5.jpg




                                          http://thestar.com.my/health/story.asp?file=/2009/11/22/health/5145574&sec=health

වැඩි ප්‍රසිද්ධියක් නැතත්,සුලභ තත්ත්වයක්. (මේ සඳහා සිංහලෙන් භාවිතා වන වචනය සොයා ගැනීමට අපහසු වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න.)


මෙය ඇති වන්නේ කලින් පැපොල රෝගය සෑදී ඇති පුද්ගලයෙකුටයි.
මුල් වතාවේදී ඇඟට ඇතුළු වන වයිරසය රෝගියාගේ සංවේදන ස්නායු වල ගැංග්ලියා වල ( dorsal nerve root ganglia of the sensory nerves)තැම්පත් වී තිබෙනවා. වයස් ගත රෝගීන්ගේ මෙන්ම ප්‍රතිශක්ති ඌණ රෝගීන්ගේද, මෙසේ තැම්පත් වූ වයිරසය,ස්නායු ඔස්සේ නැවත වරක් සම මතුපිටට පැමුණ ක්‍රියාකාරී වීමට පුළුවන්. එහිදී අදාල ස්නායුව මගින් සංවේදනය සපයන කොටසේ පමණක් රෝගයට අදාල වන බිබිලි මතු වනවා. මෙය ඉතා වේදනාකාරී තත්වයක්. මෙම බිබිලි වල ඇති ස්‍රාවය ද වෙනත් අයෙකුට රෝගය ඇති කිරීමේ ඉහළ හැකියාවක් දරනවා. 

Monday, April 2, 2012

පිටගැස්ම


ඔන්න මම රබන් ගහලා, මල්වෙඩි එහෙම පත්තු කරලා අලුත් බ්ලොග් එක පටන් ගත්තා. 


බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එකම ඒ තරම් අද කාලෙ සුලභ නැති ලෙඩකින් පටන් ගන්නයි යන්නෙ. ඒකට හේතු වුනේ අද වුනු පුංචි සිදු වීමක්.


මෝටර් බයිසිකලයෙන් ඇද වැටිලා තුවාල වුණ තරුණයෙක් ආවා අද හවස. දණහිසේ වුණ තරමක් ගැඹුරු තුවාලයට බෙහෙත් දැමීමෙන් අනතුරුවයි මම පිටගැස්ම එන්නත පිළිබඳව ඔහුගෙන් විමසා සිටියේ. 
"අවුරුදු 10ක් වගේ ඇතුළත පිටගැස්ම විදලා තියනවා ද?"
ඔහුගෙ පිළිතුර අපූරු එකක්


"පිටගැස්මට බේත් නම් ඕනා නෑ, එතන මළකඩ මොකුත් තිබුනෙ නෑ"


පිටගැස්ම, එහෙමත් නැත්නම්  tetanus පිළිබඳව ඒ වගේ මතිමතාන්තර නම් ඕනෑ තරම්.


"  අනේ මට මලකඩ ඇණයක් ඇනුනා, ඉක්මනට පිට ගැස්ම එකක් විදින්න"   කියාගෙන එන අයත් අනන්තයි


ඔන්න මගෙ පළවෙනි ප්‍රශ්නය....


1) පිටගැස්ම සහ මලකඩ ඇණ අතර ඍජු සම්බන්ධයක් තිබේද?
උත්තරය ඍජු සම්බන්ධයක්  "නැත"


2) එහෙනම් මොකද්ද මේ හැමෝම හිතාගෙන ඉන්න කතාව?
ඒකට උත්තරේ පස්සෙ කියන්නම්.


ඔන්න මම මුල ඉඳන්ම විස්තරේ පටන් ගන්නයි යන්නෙ.


3) මොකද්ද මේ පිටගැස්ම හෙවත්  tetanus?


මේ සඳහා මූලිකවම වග කියන්න ඕනා clostridium tetani  බැක්ටීරියාව . ඒ මගින් නිපදවන විෂ රසායනිකයක් වන  tetanospasmin නිසා අපේ ශරීරයේ මාංශ පේශී වල, ස්නායු පද්ධතියෙ  ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම තමයි මෙහිදී සිදු වෙන්නෙ.






4) කවුද මේ clostridium tetani ? මොනවද කරන්නෙ?


බැක්ටීරියාව අක්‍රිය ස්වරූපයෙන් (spores) මළ අපද්‍රව්‍ය වල  (ගවයන් වැනි සත්ව මළ ප්‍රධානයි) , පසේ, ධූවිලි වල, විවිධාකාර උපකරන මතුපිට (යකඩ ඇණද ඇතුළුව) වල ඉන්නවා. 


අපේ ඇඟේ මොකක් හරි ක්‍රමේකින් තුවාලයක් වුණොත් [පිච්චීමක්, කැපීමක්,සිදුරු වීමක්-{body piercing  ගැනත් අමතක කරන්න එපා}] මේ බැක්ටීරියා බීජ, නැත්නම් spores අපේ රුධිරයට එක් වෙනවා. එහිදී මම මුලින් කියපු tetanospasmin විෂ රසායනය නිපදවනවා. මේ විෂ රසායනය අපේ පර්යන්ත ස්නායු පද්ධතියේ  ක්‍රියාකාරිත්වය ට බාධා එල්ල කිරීමක් තමයි මෙහිදී සිදු වෙන්නෙ.


6)පිට ගැස්ම  රෝගියා හඳුනා ගන්නට උදවු වෙන ලක්ෂණ මොනවාද?


බැක්ටීරියාව රුධිරගත වීම සහ රෝග ලක්ෂණ පහල වීම අතර කාල සීමාව දින 1ක සිට මාස කීපයක් පමණ වන්නට හැකියාවක් තියනවා. ඒ නිසා ඇතැම් විට තුවාලයක් පිළිබඳව මතකයත් ඒ වන විට රෝගියාගෙන් ගිලිහී ගොස් තිබිය හැකියි.


රෝගයට අනන්‍ය වන රෝග ලක්ෂණ මතු වන්නට පෙර, උණ, හිසරදය, මස් පිඬු  සහ හන්දිපත් වේදනාව ආදී ලක්ෂණ රෝගියා විසින් අත්දකිනවා.සැබෑ පිටගැස්ම ලක්ෂණ මතුවන්නේ ඉන් අනතුරුවයි. පර්යන්ත ස්නායු පද්ධතියට ඇති කරවන බලපෑම සමගම, මාංශ පේශී වල  නිවැරදි ක්‍රියාකාරීත්වට බධා එල්ල කරනවා. එම නිසා මස් පිඬු වල තද වීම (hypertonia)   පෙන්නුම් කෙරෙනවා.


මේ මගින් ඇති වන රෝග ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි. 


a)හනු වල මස් පිඬු තද වීම නිසා මුඛය විවර කිරීමට අපහසු වීම. - trismus sign (lockjaw)
                                   http://www.astrium.com/uploads/images/dossier/tetanos7.


b)මුහුණේ මාංශ පේශි වල ඇති වන තද ගතිය නිසා රෝගියාගේ මුහුණේ නියවීමකට සමාන පෙනුමක් ඇති වීම. (risus sardonicus)


                                  http://otm.oxfordmedicine.com/content/vol5/issue1/images/large/med-9780199204854-graphic070622002.ጅፐግ


c)පසුපසට වක් වූ සිරුර සහ පසු පසට නැවී ගිය හිස. (ophisthotonus)


                                           http://kardzmed.com/kardz/images/stories/tetanus.ጅፕግ


d)muscle spasms


e)ආහාර ගිලීමේ අපහසුතාවය සහ ශ්වසනයේ අපහසුතාවය.


f) හර්ද ස්පන්දනයේ අක්‍රමිකතාවයන් සහ රුධිර පීඩනයේ ඇති වන විචලනය වීම.


7) පිටගැස්ම රෝගය වලක්වා ගන්නේ කෙසේද?


පිටගෙස්ම රෝගය වලක්වා ගැනීම උදෙසා අනුගමනය කරන මූලිකම කාර්යය වන්නේ, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් ලබා දෙන එන්නත. 




දරුවෙකු ට මාස 2, 4, 6, 18 යන කාල වල ලබා දෙන ත්‍රිත්ව එන්නතෙහි පිට ගැස්ම සඳහා වන ප්‍රතිශක්තිය අඩංගු වෙනවා.(ත්‍රිත්ව එන්නත මගින් ආවරනය කරනු ලබන අනෙක් රෝග දෙක වන්නේ ගලපටලය -diphtheria හා කක්කල් කැස්සයි-pertusis. එමෙන්ම වර්තමානයේදී හිමෝ‍ෆිලස් ඉන්ෆ්ලුවන්සාවට හා හෙපටයිටිස් සඳහා වන එන්නත් ද මේ සමගම දෙනු ලබනවා.එමෙන්ම පාසලට ඇතුළත් වීමේදී, එනම් අවුරුදු 5 දී සහ අවුරුදු 13 දී පමණද පිටගැස්ම සඳහා වන තවත් එන්නත් දෙකක් දීම සිදු කෙරෙනවා. )


යම් කිසි පුද්ගලයෙකු පිටගැස්ම එන්නත් 6 ම ලබාගෙන ඇත්නම් , තවත් වසර 10ක් ගතවන තුරු සාමාන්‍යයෙන් ඔහුට එන්නත අවශ්ය වන්නේ නැහැ. ( එහෙත් තුවාලයේ ස්වභාවය මත එය වෙනස් විය හැකියි)


මීට අමතරව ගර්භනී මවුවරුන්ට ද පිට ගැස්ම එන්නත ලබා දීම සිදු කෙරෙනවා.ඒ අලුත උපන් බිළිඳා පිටගැස්මෙන් ආරක්ෂා කරන්නයි


මේ කියන බේත් විදින එක සෞඛ්‍ය ක්ංඒත්‍රයේ වගකීම. නමුත් රෝගියා විසින් ද සිදු කළ යුතු දේ තිබෙනවා. එනම් තුවාලයක් සිදු වූ විට එය  හොඳින් පිරිසිදු කිරීම, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තුවාල සඳහා නොපමාව ඒ සඳහා එළඹීම, විශේෂයෙන්ම දිය වැඩියා රෝගීන් හැකි ඉක්මනින් වෛඩ්‍ය වරයෙකු හමු වීම ආදී කරුණුයි.


**පිටගැස්ම සහ මලකඩ ඇණ අතර සම්බන්ධයක් තිබේද?
මළකඩ ඇණ සහ පිටගැස්ම අතර ඇති සම්බන්දතාවය ගැන සිතා බැලුවොත් එහිද තරමක පදනමක් තිබෙනවා. මලකඩ ඇණයක් යනු පරණ වෙමින් පවතින්නක්. එම නිසා එහි පිටගැස්ම බැක්ටීරියාව ඇතුළු විශ බීජ ‍රැඳීමෙ හැකියාව වැඩියි. එමෙන්ම ඇණයක් මගින් තුවාල වීමෙ හැකියාව ද ඉහලයි. එම නිසා විෂ බීජ රඳවා ගැනීමෙ හැකියාව ඇති මලකඩ සහිත යකඩ ඇණයකින් තුවාල වූ විට පිටගැස්ම සෑදීමෙ අවධානමක් තිබෙනවා.